Thursday, July 1, 2010

ලංකාවට එල්ල වී ඇති භූමිකම්පා අවදානම Wikipedia වෙතින්


භූවිද්‍යාඥයින් පවසන පරිදි ආසියානු කලාපයෙන් භූ චලන පිළිබඳව අඩුවෙන්ම අසන්නට ලැබුණේ ශ්‍රී ලංකාවෙනි.නමුත් එම කතාව කණපිට පෙරළමින් ලංකාව තුළ සහ ඒ අවට සිදුවන භූ චලන ප්‍රමාණය මෑතක සිට වැඩි වී ඇත.එමෙන්ම ලංකා‍වේ බටහිර සිට නැගෙනහිර දක්වා විහිදෙන භූමිකම්පා කලාපය ආශ්‍රිතව ඉදිරියේදී මහා පරිමාණ භූමිකම්පාවක් වුවද සිදු වීමේ අවදානම් තත්ත්වය වැඩි වී ඇති බව භූ විද්‍යාඥයෝ අනතුරැ හඟවති.

මහාචාර්ය විල්බට් කෙහෙල් පන්නල මහතා පවසන පරිදි ,, ඉන්දියානු සාගරයේ සිදු වී ඇති විශේෂිත භූකාරක ක්‍රියා නිසා ලංකාව තුළත් ලංකාව අවට මුහුදු පතුලේත් විශාල පැලුම් ඇතිවී තිබෙනවා. ඉන්දියානු භූතලයේ උතුරු-දකුණු කොටස් අතර සම්පීඩනය හේතු කොටගෙන ලංකාව තුළ සහ ඊට පිටින් පිහිටි විභේද දිගේ චලනය වීමට උත්සාහ දරනවා. මෙහි ප්‍රථිඵලයක් ලෙස ලංකාව තුළත් ඉන් පිටතත් භූමි චලන ඇති වෙනවා. ශ්‍රී ලංකාවේ භූ කම්පන කලාපයක් ඇති වීමට හේතුවත් මෙයයි.,,

මේ මස 18 වැනි දින මහනුවර සිට 425km ක් දුරින් පිහිටි මුහුදු පතුලේ රිච්ටර් ඒකක 5.2 ක භූමි කම්පාවක් සිදු විය.මුහුදු පතුලේ සිට 37km ක් ගැඹුරින් මෙම භූමි කම්පාව ඇති වී තිබුණි. හන්තාන මුලික අධ්‍යන ආයතනය සදහන් කරන පරිදි මෙම භූමි කම්පාව සිදු වී ඇත්තේද ලංකාවේ බටහිර සිට නැගෙනහිර දෙසට විහිදෙන භූමි කම්පා කලාපය ආශ්‍රිතවයි.1980 දශකයෙන් පසු ලංකාව ආශ්‍රිතව සිදු වු විශාලතම භූමි කම්පාව මෙය වේ.

රිච්ටර් ඒකක 3ට වඩා අඩු අගයක් ගනු ලබන භූමි කම්පා ක්ෂුද්‍ර භූමි කම්පා ලෙස හදුන්වනු ලබයි.ලංකාවේ බටහිර සිට නැගෙනහිර දක්වා විහිදෙන භූමි කම්පා කලාපය ආශ්‍රිතව, ලංකාව තුළ හෝ ලංකාව ආසන්නයේ මුහුදේ රිච්ටර් පරිමාණ පහක් හෝ හයක් විශාලැති භූමිකම්පාවක් සිදු වීමේ අවදානම් තත්වයක් පවතින බව මහාචාර්ය විල්බට් කෙහෙල් පන්නල මහතා ප්‍රකාශ කරයි.

රිච්ටර් ඒකක 5ක් හෝ 6ක් විශාලැති භූමි කම්පාවක් මෙරට භූමිය තුළ සිදු වුචහොත් ගොඩනැගිලිවලට බරපතල ලෙස හානිවීමේ අවදානම ඉතාමත් වැඩිය.එමෙන්ම,රිච්ටර් ඒකක 7 ට වැඩි භූමි කම්පාවක් ලංකාවේ බටහිර සිට නැගෙනහිර දෙසට විහි‍දෙන භූමි කම්පා කලාපය ආශ්‍රිත මුහුදු කලාපයේ අඩු ගැඹුරකින් ඇති වුවහොත් ,,සුනාමි,, තත්වයක් ඇති වීමේ අවදානමක් පවතී.

කදුකර ප්‍රදේශ ආශ්‍රිතව රිච්ටර් පරිමාණ 5.5 ට වඩා විශාලත්වයකින් යුතු භූමි කම්පාවක් සිදු වුවහොත් කදුකරයේ ජලාශ පද්ධතිවලටද බරපතල ලෙස හානි සිදු විය හැකිය.මින් මිනිස් ජිවිතවලට හානි සිදු වීමේ අවදානම ඉතාමත් වැඩිය.2007 ජුනි මාසයේ දී භූචලන හතරක් සිදු වු තිස්සමහාරාමය ප්‍රදේශය ආශ්‍රිතව ද ,,ලුණුගම්වෙහෙර ජලාශය,, පිහිටා ඇත. එබැවින්, මෙම ජලාශය පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතුය.

භූමියේ පිහිටා ඇති විභේද චලනය වීම පිළිබඳ සොයා බැලීම සදහා චන්ද්‍රිකා ආශ්‍රිත ,,GPS, උපකරණ සහිත මධ්‍යස්ථාන පිහිටුවිය යුතු බව භූ විද්‍යාඥයින් පවසයි.මෙ‍ම GPS, උපකරණයක වටිනාකම රුපියල් ලක්ෂ 30 කි.අවම වශයෙන් මෙම උපකරන 4 ක්වත් ලංකාව තුළ පිහිටවීම අත්‍යවශ්‍යය.දැනට මෙම උපකරණ එකක්වත් ලංකාවේ නැත.

විභේද චලනය වීම ජලාශ්‍රිත ප්‍රදේශවලට බලපාන්නේ කෙසේද,ජනාකීර්ණ ප්‍රධාන නගරවලට ඇතිවන තත්වය කුමක්ද පිළිබඳ GPS,උපකරණය මගින් කල් තියා අධ්‍යනය කළ හැකිය. මෙය ඉතා වැදගත් වන්නේ කොළඹ වැනි නගරයක් ආශ්‍රිතව විශාල භූමි කම්පාවක් සිදුවුවහොත් විය හැකි හානිය අති විශාල හෙයිනි.නමුත් අප දැනට භාවිතා කරන භූ කම්පන මාන මගින් ලබා ගන්නා දත්ත මගින් හෙළිදරව් කරගත හැකි වන්නේ භූ කම්පා සිදුවන ආකාරය, එහි විශාලත්වය හා ස්ථානය යන දත්ත පමණි.නමුත් GPS,උපකරණය මගින් විභේද චලනය වීම පිළිබඳව තොරතුරු සොයා ගැනීම තුළින් ඉදිරියේදී භූකම්පා සිදු විය හැකි ස්ථාන පිළිබඳව පවා හෙළිකර ගත හැකිය.

මේ අනුව අපට විද්‍යමාන වන්නේ අප දැන් ජිවත් වන්නේ භූකම්පා කලාපයක් තුළ බවයි.

No comments:

Post a Comment