Thursday, July 1, 2010


12. මණ්ඩ/මඬ ගස්(ප්‍රධාන වශයෙන් වි‍‍ශේෂ තුනකි)

i. Avicennia Marina

කුලය-Avicenniaceae


බහුලව ව්‍යාප්තව ඇති විශේෂයකි. වායුධර මුල් ඇත. ශාක කඳ සුදු පාටය. මීටර් 1ක් පමණ උස කුඩා පඳුරු ලෙසටත්,මීටර් 10-15ක් පමණ උස ශාක ලෙසටත් ඒ ඒ දේශගුණික කලාප අනුව වර්ධනය වේ. පත්‍ර සම්මුකව හා ද්වීකාන්තරිකව පිහිටා ඇත. පත්‍ර ඕවලාකාර ඉලිප්සීයාකාරය. පත්‍ර අග උල්ව පිහිටයි. පත්‍ර මතුපිට ලා අඳුරු කොළ පාටක් ගන්නා අතර යට පැත්ත කහපාටක් ගනී. බූව සහිතය.

Avicinnia Officinalis වල පුෂ්ප වලට වඩා කුඩා පුෂ්ප හට ගනී. පුෂ්පයේ දළ 4කි. නිපත්‍රවල Avicinnia Officinalis වල මෙන් කළු පාට දාරයක් නැත. ඵලය රවුම් අළු කොළ පාටය.


ii. Avicennia Alba

කුලය-Avicenniaceae

අනෙක් මණ්ඩ විශේෂ වලට වඩා අඩු ව්‍යාප්තියක් ඇත. සීනි මෝදර හා කල්පිටිය කඩොලාන ප්‍රජාවල දැකිය හැක. ශාකය මීටර් 4-10ක් පමණ උසය. අළු සුදු පාට ක‍ඳේ පාදස්ථයේ නෙරීම් පිහිටා ඇත. වායුධර මුල් තිබේ.

සෙන්ටි මීටර් 2-3ක් පමණ පළල සෙන්ටි මීටර් 4-6ක් පමණ දිග ලංසාකාර පත්‍ර සම්මුකව පිහිටා ඇති අතර පත්‍ර Avicennia Officinalis විශේෂයේ පත්‍ර වලට සමාන වේ. නමුත් වර්ණයෙන් පමණක් වෙනස්ය. Avicennia Officinalis වල පත්‍රයේ යටි පැත්ත කහපාට වන අතර මෙම ශාකයේ යටි පැත්ත සුදු පාටය.

මිනි මීටර් 4ක් පමණ කුඩා පුෂ්ප හට ගනී. පුෂ්ප ඈතින් පිහිටා ඇති අතර පෂ්ප මංජරිය ශුකියක්ව පිහිටයි. මෙම ලක්‍ෂණය නිසා Avicennia Marina ශාක විශේෂයෙන් වෙනස් වේ. කෝණාකාර දුඹුරු කොළ පාට ඵලය සෙන්ටි මී‍ටර් 4ක් පමණ දිගය. මේ නිසා අනෙක් මණ්ඩ විශේෂ දෙකටම වඩා වෙනස් වේ.


iii. Avicennia Officinalis

කුලය-Avicenniaceae

මීටර් 5-10ක් පමණ උසට වැඩෙන ශාකයකි. සුදු පාටට හුරු ක‍ඳෙහි පාමුල කොටසේ පිටතට නෙරා ගිය නෙරීම් සැකිය හැක. බොහෝ විට මෙම නෙරීම් වලින් කුඩා අතු වර්ධනය වේ.

වායුධර මුල් විශාල ප්‍රමාණයක් වර්ධනය වී තිබේ. පත්‍ර සම්මුකව පිහිටා ඇති අතර එක් එක් යුගළය ද්වීකාන්තරිකව පිහිටයි. සෑම අත්තකම ඇති අවසාන පත්‍ර යුගළය එකට එකතු වී අග්‍රස්ථ අංකුරය ආවරණය කරයි. බීජ පැළ අවස්ථාවේ දිගටි පත්‍රයේ අග උල්ය. මෝරණ විටදී රවුම් ආකාරයට වෙනස් වේ. පත්‍ර ‍සෙන්ටි මීටර් 2-4ක් පමණ පළල් වන අතර සෙන්‍ටි මීටර් 3-8ක් පමණ දිගය. මේරූ පත්‍ර මතුපිට දිළිසෙන ස්වභාවයක් ඇත. පත්‍ර යටි පැත්ත කහපාටට හුරු කොළ පාටකි. පුෂ්ප අනෙක් මණ්ඩ විශේෂ වලට වඩා විශාලය. කහපාට මල් පෙති හතරකි. ලා කොළ පාට නිපත්‍ර පැහැදිලිව දැකිය හැක. බූව සහිතය. බූව සහිත සෙන්ටි මීටර් 3ක් පමණ ඵලයේ අග උල් වූ වක් ගැසුණු හොටක් ඇත.

No comments:

Post a Comment