Monday, July 5, 2010

මාදු ගඟ ආශ්‍රිත ජන ජීවිතය




මාදු ගඟ පිළිබඳව අවදානය යොමු කිරී‍මේ දී මාදු ගඟ ආශ්‍රිත ජන ජීවිතය පිළිබඳවත් අවධානය යොමුකිරීම ඉතා වැදගත් වේ. මාදු ගඟ අවට ප්‍රදේශ වාසීන් සිය ජීවනෝපාය සඳහා මාදු ගඟ අවට පරිසරය බෙහෝ විට උපයෝගී කර ගනී. ඒ අතර වැදගත් ස්ථානයක් මිරිදිය ධීවර කර්මාන්තයට හිමිවේ. මෙයට මූලිකව පදනම වී ඇත්තේ කළපුව ආශ්‍රිත මිරිදිය මත්ස්‍ය කර්මාන්තයයි. මෙම ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් දහසක් පමණ මාදු ගඟ ආශ්‍රිතව අපට හදුනාගත හැක. ඉස්සන් ඇල්ලීම සදහා යොදාගනු ලබන රිටිපන්න ක්‍රමය ඉතාම ජනප්‍රිය ක්‍රමයක් වී ඇත. ඉස්සන් ඇල්ලීමට භාවිත කරන තවත් ක්‍රමයක් ලෙස ජාකොටු ක්‍රමය දැක්විය හැකිය. කුරුඳු වගාව මඟින් සිය ජීවනෝපාය සරිකර ගනු ලබන ජනතාව මෙම මාදු ගඟ ආශ්‍රිතව දක්නට ලැබේ. කුරුඳු වගාව මෙන්ම පොල් වගාව ද මෙම ප්‍රදේශය පුරා ජනප්‍රිය වූ තවත් ජී‍වනෝපායකි. මීට අමතරව මාදු ගඟ ආශ්‍රිතව පන් කර්මාන්තය, පොල් රා කර්මාන්තය, කොහු කර්මාන්තය, දැව සහ ලී බඩු සෑදීමේ කර්මාන්ත ද දක්නට ලැබේ. සුවිශේෂී වශයෙන් සංචාරක ව්‍යාපාරය මාදු ගඟ ආශ්‍රීතව අති ජනප්‍රිය වී ඇත. දේශීය විදේශීය සංචාරකයින් මාදු ගඟ නැරඹීම සඳහා පැමිණෙන අතර ඒ සඳහා ලී ඔරු, ෆයිබර් ඔරු, අඟුල්, මෝටර් බෝට්ටු ආදිය භාවිත කරයි.

ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යය වඩාත් ඔප් නංවනවා සේම එම ප්‍රදේශය ආශ්‍රිත ජනතාවගේ දිවි මග සාර්ථක කර ගැනීමට ද මෙම මාදු ගං කොමළිය ඉමහත් පිටුවහලක් වී ඇතිබව අපට පෙනී යයි. එබැවින් ලෝක උරුමයක් සේම ශ්‍රී ලංකාවේ සුන්දරතම රැම්සා තෙත් බිම වන මාදු ගඟ පරිසර පද්ධතිය සුරක්ෂිත කොට අනාගත පරපුරට දායාද කිරීම සියලුම ශ්‍රී ලංකා වාසීන්ගේ යුතුකමක් සේ සැලකිය යුතුය.

No comments:

Post a Comment