Thursday, July 1, 2010


2. මල් කඩොල්(ප්‍රධාන වශයෙන් වි‍‍ශේෂ තුනකි)
Bruguiera gymnorrhiza.jpg

i. Bruguiera Gymnorhiza

කුලය-Rhizophoraceae

සදාහරිත ශාකයක් වන මෙය ශ්‍රි ලංකාවේ සෑම කඩොලාන ප්‍රජාවකම පාහේ දක්නට ලැබේ. කඳෙහි පාමුල දණහිස් මුල් දැකිය හැකිය. පත්‍ර තරමක් විශාලය. යටි පැත්ත අඳුරුය. උඩ පැත්ත තද කොළ පාටය. පත්‍ර අග්‍රය උල් වී ඇත. පත්‍ර මුල තීව්ර හෝ අති තීව්ර හැඩයක් ගනී. උප පත්‍ර යුගළ ලෙස පිහිටයි.

පුෂ්ප තනිව පිහිටා ඇත. පුෂ්පය සෙන්ටි මීටර් 3-4 ත් අතර පමණ පළලය. මල් පෙති මිනි මීටර් 13-15 ත් අතර දිගය.ජලාබුජ ඵලයේ බීජ පත්‍රවල අක්ෂය සෙන්ටි මීටර් 8-12 ක් පමණ විශාලව වඩේ. කොළපාටය. ඵලය මේරූ පසු තද කොළ පාටට හැරේ. ඵලය ජලය මතුපිට වැටී පාවී සුදුසු ස්ථානයකට ස්ථාපිත වූ විට බීජ ඵලය වර්ධනය වීමට ප‍ටන් ගනී.



ii. Bruguiera Sexangula

කුලය-Rhizophoraceae

පුත්තලම සිට රැකව දක්වා ඇති සෑම කඩොලාන ප්‍රජාවකම පාහේ දැකිය හැකිය. පත්‍ර ඉලිප්සාකාර-ඕවාකාරය. Bruguiera Gimnorhiza පත්‍ර වලට වඩා කුඩා‍ය. සෙන්ටි මීටර් 2-4 ක් පමණ පළල අතර, දිග සෙන්ටි මීටර් 6-8 ක් පමණ වේ. පත්‍ර තුනී වන අතර මතුපිට ලා කොළ පාටය. පත්‍ර අග්‍රය උල්ය.

පුෂ්ප තනිව පිහි‍ටයි.පුෂ්පය සෙන්ටි මීටර් 3-4 ක් පළල් වන අතර පත්‍ර නාරටි අසළින් ඇති වේ. දළ සාමාන්‍යයෙන් කහ පාටට හුරුය.ජලාබුජ ඵලයේ බීජ පත්‍ර අක්ෂය සෙන්ටි මීටර් 6-10 ක් පමණ දිගට වර්ධනය වන අතර Bruguiera Gimnoorhiza විශේෂයේ ඵලය‍ට සමාන වේ.


iii. Bruguiera Cylindrica

කුලය-Rhizophoraceae

මීටර් 2-4ක් පමණ උසට පඳුරක ස්වභාවයෙන් වැඩෙන සදාහරිත ශාකයකි. දණහිස් මුල් ඇත. සෙන්ටි මීටර් 2-6ක් පමණ පළල සෙන්ටි මීටර් 7-15ක් දිග ඉලිප්සාකාර කුඩා පත්‍ර සහිතය. පත්‍ර නාරටිය රතු පැහැයක් ගනී. උප පත්‍ර සෙන්ටි මීටර් 3ක් පමණ දිගය.

පුෂ්ප මංජරියේ පුෂ්ප 3ක් ඇත. පුෂ්පය අනෙක් මල් කඩොල් විශේෂ වල පුෂ්ප වලට වඩා කුඩා වන අතර පැහැයෙන් කොළ පාටය.

ඵලය ජලාබුජතාවය පෙන්වයි. බිජ, පත්‍ර අක්ෂයට පහළින් ඇත. අනෙක් මල් කඩොල් විශේෂ වල ඵලයට වඩා කුඩා සිහින් සෙන්ටි මීටර් 4-5ක් පමණ දිග ඵලයක් සහිතය. ඵලය වක්ව පිහිටා ඇති අතර කොළ පාටය.

No comments:

Post a Comment