Thursday, July 1, 2010


9. කටු ඉකිලි(ප්‍රධාන වශයෙන් වි‍‍ශේෂ දෙකකි)

i. Acanthus Ilicifolius

කුලය-Acanthaceae

කටු සහිත පඳුරක ස්වභාවයක් ගන්නා මෙම ශාකය ශ්‍රි ලංකාවේ සෑම කඩොලාන ප්‍රදේශයකම දැකිය හැකි‍ය. විවිධාකාරයට‍ අතු බෙදී ගොස් මීටර් 2ක් පමණ උසට වර්ධනය වන අතර ක‍ඳේ පහත කොටසෙන් වායුධර මුල් ඇති වේ. පත්‍ර කටු සහිතය. පුෂ්ප මංජරියක පිහිටයි. පුෂ්පයක් සෙන්ටි මීටර් 3-4ක් පමණ දිග වන අතර පුෂ්පයේ දළ නිල් පාටය. අවුරුද්ද මුළුල්ලේම පුෂ්ප ඇත. ඵලය අසම්පූර්ණ ජලාබුජතාවය පෙන්වයි.


ii. Acanthus Volubilis

කුලය- Acanthaceae

ව්‍යාප්තිය හලාවත කලපුවේ පම්බල කඩොලාන ශාක ප්‍රජාවට සීමා වී ඇත. පඳුරක ස්වභාවයක් ගන්නා ශාකය මීටර් 2ක් පමණ උසට වැඩේ. ශාකයේ කඳ තද දම් පැහැයෙන් යුක්තය. අතුවල සහ කඳේ කටු ඉතා සුළු වශයෙන් ඇත.

Acanthus Ilicifolius පුෂ්ප වලට වඩා කුඩාය. පුෂ්ප මංජරියක පිහිටයි. දළ සුදු පාට වන අතර බොහෝ විට නිපත්‍ර දැකිය නොහැක.


10. කැරන් කොකු(ප්‍රධාන වශයෙන් වි‍‍ශේෂ දෙකකි)


i. Acrostichum Aureum

කුලය-Pteridaceae

කඩොලාන ප්‍රජාවේ දැකිය හැකි එකම පර්ණාංග ශාකයයි. සාමාන්‍ය පර්ණාංගවල මෙන් කඳ රෛසෝමයකි. සංයුක්ත පත්‍ර රෛසෝමයෙන් ඇති වී සෘජුව ඉහළට වැඩේ. පත්‍රිකා කුඩා වන අතර පැහැයෙන් කොළ පාටය. ළපටි පත්‍රිකා දුඹුරු පාටට හුරු කොළ පාටකි.

පත්‍රයේ අග පිහිටි පත්‍රිකා යුගළ 5-6ක පමණ බීජානුධානී ඇති වේ. පත්‍රයක ඇති බීජානුධානී දුඹුරු පාටට දැකිය හැකිය. අතින් ඇල්ලූ විට බීජානුධානී ගැලවී අත‍ට එන අතර, මේවා සිහින් දුඹුරු පාට කොටස් ලෙස හඳුනාගත හැක.


ii. Acrostichum Speciosum

කුලය- Pteridaceae

ලංකාවේ වඳ වී යමින් පවතින ශාකයකි. බොහෝ විට Acrostichum Aureum වලට සමානය. වඳ පක්ෂක සහිත ක්‍රමයෙන් ඉහළට පටුවන අග්‍රයක් සහිත පත්‍ර ඇත. පත්‍රයක දිග මීටර් 1ක් පමණ වන අතර පත්‍රයේ අග උල්ය. පත්‍ර තලය ලංසාකාරය.

11. තෙල(Excoecaria Agallocha)

කුලය-Euphorbiaceae

පෙත්ත ලා දුඹුරු පාටය. කඳේ පාමුල හා අනෙක් කොටස් වල ලැන්ටි සෛල දැකිය හැකිය.අතුවල වැටුණ පත්‍ර ලප පැහැදිලිව දැකිය හැකිය. කඳේ හා අතුවල මෙන්ම පත්‍රවල ද කිරි ඇත. මෙම කිරි විෂ සහිතය.

අතුවල අග පත්‍ර ගොනුවක් සේ පිහිටයි. පත්‍ර සරල වන අතර තරමක් මාංශල ගතියකින් යුක්තය. පත්‍ර සාමාන්‍යයෙන් කොළ පාටය. සමහර ළපටි පත්‍ර රතට හුරු කොළ පාටය.

මීටර් 2-10ක් පමණ උසට වැවෙන ශාකයකි. කඳේ පහළ සිටම අතු බෙදේ. අග්‍රස්ථ අතුවල කක්ෂියෙහි පුෂ්ප මංජරිය ඇති වේ. පුෂ්පය ඉතා කුඩාය. ඵලයේ පිටත ආවරණය කෙඳි සහිතය. මේරූ ඵලය කොටස් 3කට පිහිටන ආකාරයට විවෘත වේ. බීජය මිනි මීටර් 3ක් පමණ පළලය. කළු පාටය.

No comments:

Post a Comment